තමන් අනියම් ආදර සම්බන්ධතාවක පැටලුණු බව ජෙන්සන් හුවන්ග් ප්‍රසිද්ධියේ පිළිගෙන අවසන්ය. ඒ, ඔහුගේ එන්-වීඩියා සමාගමට ඊ මේල් පණිවුඩයක් යවමිනි. ‘මා මාගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. මා මගේ බිරිඳට ද්‍රෝහි වුණා. දරුවන්ගේ සිත් රිදෙව්වා. මා කළ දේට සමාවක් ලැබිය යුතු නැහැ. මා ඒ ගැන පසුතැවෙනවා. කනගාටු වෙනවා. සමාව ඉල්ලීමෙන් මා කළ වරද නිවැරදි වෙන්නේ නැති බව මා දන්නවා. කාලය සමග පළුදු වුණු විශ්වාසය නැවත ගොඩනැගෙනු ඇතැයි මා විශ්වාස කරනවා’ යනුවෙන් එම ඊ මේල් පණිවුඩයේ සඳහන් වෙයි.
මේ කතාව ඉදිරියට යෑමට පෙර, මහ දැවැන්ත එන්-වීඩියා සමාගම යනු කුමක්දැයි කිව යුතුය. එන්-වීඩියා ඇමෙරිකන් සමාගමකි. එන්-වීඩියා, 1993 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ කළ, පරිගණක ග්‍රැෆික් කාඩ් සහ අර්ධ සන්නායක නිෂ්පාදනය කරන ලොව දැවැන්ත මෙන්ම ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගමකි.
අද ලෝකයේ, ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි විප්ලවයේ හදවත ලෙස සැලකෙන්නේ එන්-වීඩියාය. ඒ.අයි. මයික්රෝචිප වෙළඳපොළෙන්, සියයට 80 කටත් වඩා වැඩි කොටස හිමිකරගෙන සිටින්නේ එන්-වීඩියා සමාගමය. මුළු මහත් ගෝලීය ඒ.අයි. ක්ෂේත්රයේම ගමනාන්තය සහ තාක්ෂණික බලගැන්වීම තීරණය කරන ප්‍රධානම නියමුවා ලෙස කටයුතු කරන්නේ එන්-වීඩියා ය.
අනියම් පෙමක පැටලුණු ජෙන්සන් හුවන්ග් යනු 1963 පෙබරවාරි 17 වන දින තායිවානයේ උපත ලබා පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වූ ලෝක ප්‍රකට තාක්ෂණික ව්‍යවසායකයෙකි. ඔරෙගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියත්, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් හිමිකරගත් ඔහු, 1993 වසරේ මිතුරන් පිරිසක් සමග එක් වී, එන්-වීඩියා සමාගම ආරම්භ කළේය.
වසර 30 කට වැඩි කාලයක් එහි ප්‍රධාන විධායක නිලධාරියා සහ සභාපතිවරයා ලෙස කටයුතු කරමින්, එන්-වීඩියා සමාගම ඩොලර් ට්‍රිලියන ගණනක අගයකින් යුතු ලොව වටිනාම ඒ.අයි. තාක්ෂණික දැවැන්තයා බවට පත්කිරීමට ඔහු නායකත්වය දුන්නේය.
සුවිශේෂී කළු පැහැති ලෙදර් ජැකට්ටුවකින් නිතර සැරසී සිටින ප්‍රියමනාප කඩවසම් පෙනුමකට හිමිකම් කියන ජෙන්සන් හුවන්ග් කැපී පෙනෙන චරිතයකි. 63 හැවිරිදි විවාහක ඔහුට දරුවෝ දෙදෙනෙකි. ලොව කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්තම පෙරළියක් සිදු කළ එන්-වීඩියා සමාගම, අද වන විට ඩොලර් ට්‍රිලියන 4.5 ක වෙළඳපොළ අගයක් සහිත ලොව වටිනාම තාක්ෂණික සමාගම ලෙස වැජඹෙයි.
තාක්ෂණික ලෝකයේ ඉහළින්ම වැජඹෙන චරිතයක් වූ ජෙන්සන් හුවන්ග්, මෑතක් වන තුරුම ලෝක තාක්ෂණ ක්ෂේත්රයේ සිටින වඩාත්ම දක්ෂ, නවෝත්පාදක මෙන්ම, ගෞරවණීය නායකයා විය. ඒත් දැන් ජෙන්සන් හුවැන්ග්ගේ ලෝකය උඩු යටිකුරු වී අවසන්ය. ඒ, මෙම අනියම් පෙම් හුටපටය නිසාම පමණක් නොව, ජෙන්සන් හුවැන්ග්ගේ අනියම් පෙම්වතිය වූ තැනැත්තිය චීන ඔත්තුකාරියක යැයි චෝදනා එල්ල වීමත් නිසාය.
ජෙන්සන් හුවන්ග්, පෙම්වතිය ජෙන්සන් හුවැන්ග්ට වඩා බෙහෙවින් ළාබාල තැනැත්තියකි. ඇය සිංගප්පූරු සමාගමක විධායක නිලධාරිනියක බව පැවැසෙයි. ඇය චීන රහස් ඔත්තුකාරියක බවත්, ඇය ජෙන්සන් හුවන්ග් රවටා ගෙන ඇත්තේ, එන්-වීඩියා සමාගමේ අති නවීන තාක්ෂණික දැනුම, තාක්ෂණික රහස් ආදිය සොරකම් කිරීමට බව අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශ නිලධාරීන්ය.

මෙම තැනැත්තිය හුවන්ග් ලේයි ය. ඇය චීන තරුණියකි. මැය රුවැත්තියකි. හුවන්ග් ලේයි, සිංගප්පූරු සමාගමක විධායක නිලධාරිනිය ලෙස පෙනී සිටියේ ඇලිස් හුවන්ග් යන නමිනි. නම්වල සමානකමක් පැවැතියත්, ජෙන්සන් හුවන්ග් සහ ඇලිස් හුවන්ග් අතර ඥාති සම්බන්ධයක් නැත.
සිංගප්පූරුව පදනම් කරගත් මෙගාස්පීඩ් නමැති තාක්ෂණික සමාගමේ ඉහළම විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ ඇලිස් හුවන්ග්, ඉතා කෙටි කාලයක් තුළ ලෝක තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රබල චරිතයක් බවට පත් වූ අයෙකි. ඇමෙරිකන් බුද්ධි අංශවලට අනුව ඇය චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන බුද්ධි ඒජන්තවරියකි.
ජෙන්සන් සහ ඇලිස් අතර මුලින්ම එකට සිටිනු කැමරා කාචයක සටහන් වූයේ 2024 ජූනි මාසයේදීය. ඒ තායිවානයේ තායිපේ නුවර පිහිටි ප්‍රසිද්ධ මත්පැන් අවන්හලක් තුළ සිටිද්දීය.
මේ කාලයේ, ඇලිස්ගේ මෙගාස්පීඩ් සමාගම, එන්-වීඩියා සමාගමෙන් ඩොලර් බිලියන ගණනක අතිනවීන කෘත්‍රිම බුද්ධි මයික්‍රෝචිප් මිලදී ගැනීමේ දැවැන්ත ගනුදෙනුවකට මුල පුරා තිබුණි. 2025 වසරේ මැයි මාසයේ නැවත වරක් ඇලිස් හුවන්ග්, ජෙන්සන් පිටුපස සිටිනු කැමරා කාචවල සටහන් විය.
ඒ වන විට, ඇලිස්ගේ මෙගාස්පීඩ් සමාගම සහ එන්-වීඩියා සමාගම අතර පැවැති බිලියන ගණනක සබඳතාව වොෂින්ටනයේ ආරක්ෂක අංශවල දැඩි නිරීක්ෂණයට ලක් වෙමින් තිබුණි. මේ වන විට, ඇලිස්, ජෙන්සන්ට ළං වී, එන්-වීඩියා සමාගමේ තාක්ෂණික රහස් එකිනෙක ලබා ගනිමින් සිටියාය.
ඇමෙරිකන් අනාවරණය කර ගෙන ඇති අන්දමට, චීන රහස් ඔත්තු සේවය, ඇලිස් හුවන්ග් මෙම මෙහෙයුමට යොදාගෙන තිබුණේ විශේෂිත අරමුණක් සහිතවය. ඒ, එන්-වීඩියා ප්‍රධානියාගෙන් තාක්ෂණික රහස් ලබා ගැනීම පමණක්ම නොවෙයි, ඇමෙරිකා රජය චීනයට පනවා ඇති අධි-තාක්ෂණික චිප් අපනයන තහනම ලිහිල් කරවා ගැනීමට එන්-වීඩියා සමාගම ලවා ඇමෙරිකන් රජයට බලපෑම් කිරීමටය.
බයිඩන් පාලනය විසින් එන්-වීඩියා සමාගමේ බලවත්ම ඒ.අයි. චිප, චීනයට අලෙවි කිරීම සපුරා තහනම් කර තිබුණි.
ඊට හේතුව අනාගත ඒ.අයි. තාක්ෂණික තරගයේදී චීනය ඇමෙරිකාව අබිබවා යනු ඇතැයි පැවැති බිය නිසාය. 2025 ජනවාරියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුරය සඳහා බලයට පත්වීමෙන් පසු, ජෙන්සන් හුවන්ග් පෙනී සිටියේ චීනයට පරිගණක චිප අලෙවි කිරීම මත පනවා ඇති දැඩි සීමා ලිහිල් කළ යුතු බවට වන මතයේය. මෙම ප්‍රතිපත්තිය පිටුපස ඇලිස්ගේ අනුදැනුම සහ බලපෑම පැවැති බවට ඇමෙරිකන් බුද්ධි අංශ සැක කරයි.
ඇලිස් හුවැන්ග්ගේ අතීතය හරිහැටි කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ තවමත් සමත් වී නැත. අතීතයේ ඇය හූනාන් රූපවාහිනියේ සහ චීන රාජ්‍ය රූපවාහිනිය වන සීසීටීවී පුවත් නාළිකාවේ හිටපු මාධ්‍යවේදිනියකු බව කීවත් ඇය ගැන මාධ්‍ය ආයතන දන්නේ නැත. ඇය එස්.බී.සී බැංකුවේ පෞද්ගලික බැංකු අංශයේ සභාපතිවරයාගේ සහකාරිය ලෙස සේවය කළ බව කීවත් ඒ ගැන කිසිදු වාර්තාවක් නැත.
ඇය සයිටෙක් නමැති ආරක්ෂක සේවා සමාගමේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කළ බව කීවත් ඒ ගැන ද කිසිදු තොරතුරක් නැත.
චීන ආයෝජන වාර්තාවලට අනුව, ඇය ෂැංහයි හෙක්සි ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් සමාගමේ විධායක අධ්යක්ෂවරියක ලෙස ද කටයුතු කර ඇත. මෙම සමාගම සෙවන්-රවුන්ඩ් නැමැති චීන වීඩියෝ ක්‍රීඩා සමාගම සමග සමීප සබඳතා පැවැත්වූ තැනැත්තියකි.
ඇයගේ මෙගාස්පීඩ් සමාගම ආරම්භ වූයේ ද 2023 දී මෙම සෙවන්-රවුන්ඩ් සමාගමේ සිංගප්පූරු ශාඛාවෙනි. ජෙන්සන් හුවන්ග්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විද්‍යා හා තාක්ෂණ උපදේශක සභාවේ සාමාජිකයෙකි. ඊට අමතරව, ජෙන්සන් හුවන්ග්, ට්‍රම්ප්ගේ ඉතා සමීප හිතවතෙකි. ට්‍රම්ප් මීට පෙර හුවැන්ග්ව හඳුන්වා දුන්නේ තමන්ට හමුවුණු අති දක්ෂ බුද්ධිමතකු ලෙසය. මේ සම්බන්ධයෙන් චීන රජය පවසන්නේ කුමක්ද? ඔවුන් කිසිවක් පවසන්නේ නැත. ඔවුන් නිහඬය.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි
